පිපාසය මිනිස්සු වෙච්ච අපිට වගේම මේ ලෝකෙ ජීවත්වන හැම ජීවියෙකුටම පොදු වුන ධර්මතාවයක්. අපි‍ට දවසකට ඕනි කරන දියර ප්‍රමාණය මෙච්චරයි කියලා යම් යම් සීමාත්  ඉස්කෝලෙදි උගන්නනවා. ඒ ඇත්තටම අපිට ජීවත් වෙන්න නම් දියර වර්ග පානය අත්‍යාවශ්‍ය නිසා. නමුත් ........ විද්‍යාවේ දියුණුවත් එක්කම පිපාසය වෙනුවෙන් නිපදවපු කොයිතරම්නම් පාන වර්ග අද වෙනකොට අපේ සමාජයට ඇවිත් තියනවද? පිපාසයට තියන හොදම විසදුම මේ පාන වර්ග කියලා මතයක් ගොඩනැගිලා තියන නිසා ගොඩක් දෙනා කෘතිම පාන වර්ග පානය කරන්න නැඹුරු වෙලා තියනවා.

 අපි අද මේ කෘතීම පාන වර්ග ඇත්තටම ඔයාගෙ පිපාසය නිවන්න සුදුසුද කියලා දෙපාරක් හිතන්න සිද්ද වෙන කරුණු ටිකක් අරගෙනයි මේ ආවෙ. කියවලම බලමුද?

පිපාසය නිවන්න අපි පානය කරන පාන වර්ග දෙකොටසකට පහසුවෙන් වෙන් කරන්න අපිට පුළුවන්. ස්වභාවික පාන සහ කෘතිම පාන තමයි ඒ. වතුර, තැඹීලි වතුර කුරුම්බා ආදිය ඔයා හොඳින්ම දන්නවනේ.... ස්වභාවික පරිසරයේ තියෙන පලතුරු වර්ගවල යුෂ රැගෙන පානය කිරීම තුළිනුත් අපිට යම් ස්වභාවික පාන වර්ග සකස්  කර ගන්න පුළුවන්.

ඒත් මේ පළතුරු පානයන් වලට ලුණු, සිනි එකතු කළාම ඒවා රසකාරන වර්ග හින්දා පළතුරු පානය නිකන්ම අස්වාභාවීකරණයට ලක් වෙනවා.

  මේවා ඇරැණාම දියර කිරි, බෝතල් කළ හෝ පැකට් වල ඇසිරූ කෘතීම පාන වර්ග, කෝඩියල් වර්ග ඇසුරින් සැකසූ බීම වර්ග, ඔයාලා හොඳටම දන්න කෝලා වර්ග වගේම විවිධ වායූ සහිත බීම වර්ගත් අපේ පාන වර්ග අතරට එකතු වෙලා තියෙනවා.


අපි මුලින්ම දියර කිරි සහ පළතුරු බීම වර්ග ගැන බලමු.



වෙළඳ පොළට එක් කරන දියර කිරි සහ පළතුරු පානයන් වල අතුළත් විය යුතු සීනි ප්‍රමාණය 04% ( සියයට හතර ) කට වඩා අඩු විය යුතුයි කියලා නියමයක් තිබුනත් ඒ සීමාව ඉක්මවා සීනි අන්තර්ගත කරලා තියෙනවා.දියර කිරි වලින් අතිරේක පෝෂණ ගුණයක් ලැබුනත් ඒත් එක්කම අපේ ඇඟට අධික සීනි ප්‍රමාණයකුත් එකතු වෙනවා කියලත් අමතක කරන්න එපා.

 බොහෝ විට පළතුරු බීම වර්ග වල ඇත්තටම අඩංගු වෙන්නේ කෘතීම රසකාරක සහ වර්ණකාරක යෙදූ පාන වර්ගයි. මේ පළතුරු බීම වල රස සහ සුවඳ ඇති කිරීමට බොහෝනිෂ්පාදකයන් යොදා ගන්නෙ ගල් අඟුරු තාර ( Coal tar ) රසායනයන් කියලා ඔයා දන්නවාද? හැබැයි මේ ගල් අඟුරු තාර රසායනිකයන් අධික පිළිකා කරක කියලා සොයා ගැනීමත් එක්කම ලෝකයේ බොහෝ රටවල් ඒවාට ඉතා දැඩි සීමාවන් පනවලා ඒ රසායන භාවිතය පාලනය කලා.


අපේ ‍රටේ වුනත් භාවිතයට අයසර දීලා තියෙන්නේ කෘතිම වර්ණක 08ක් විතරයි. ඒ විතරක් නෙමෙයි. ආහාරයකට හෝ යම් පානයකට වර්ණක අඩංගු කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය 1 kg කට වර්ණක 100 mg පමණයි.

සාමාන්‍යයෙන් අපේ රටේ,

Quinoline yellow (E 104) – කහ පාට

Fast Red E – තද රතු පාට

ED & C red no -3 – රතු පාට

Green (FCF) – කොළ පාට

Amaranth කහ පාට
            කියන වර්ණක යෙදීම තහනම්.


මේවාට අමතරව නිතර භාවිතයෙන් ශරීරයට අන්තරාදායක විය හැකි අනුමත වර්ණකාරක කීපයකුත් තියනවා.

Carmosine (E 122) – රතු පැහැය

අයිස් ක්‍රිම්, ජෑම්, කෝඩියල්, සෝස් වර්ග පැවතිය හැකිය. මෙය සාමාන්‍යයෙන් පිළිකාකාරකයකි. ඇදුම, ආසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරීමට ඊට හැකියාව පවතියි.

Ponceau 4 R (E 124) – රතුපැහැය

මේවා ජෑම් වර්ග, බීම වර්ග හෝ අයිස් ක්‍රිම්වල පැවතිය හැකිය. ඇදුම රෝගය උත්සන්න කරයි.

Tarrazine (E 102) – කහ පැහැය

ආසාත්මිකතා හා බැඳුණු සුලභම ආහාර වර්ණකය තමයි මේක.කහ පැහැය සඳහා තියෙන ලාභදායීම වර්ණකය නිසා වෙළඳ පොළේ බහුලව දකින්න පුළුවන්.



කෝඩියල් වර්ග සහ අයිස් ක්‍රීම් වර්ග වගේ ඒවාට භාවිතා කරන මේ වර්ණක හේතුවෙන් ඔයාට ඇස් රතුවීම,  නාසයෙන් සොටු දියර ගැලීම, ඇදුම රෝගය උත්සන්න වීම, කැස්ස, ඉරුවාරදය, ඇස් පෙනීම දුර්වල විම, සමේ පලු දැමීම වගේ තත්ව වලට මුහුණු දීමට සිදු වෙනවා.
දැන් ඔයාට දියර කිරි සහ පළතුරු පාන වර්ග වල අහිතකර තත්ව ගැන අවබෝධයක් එන්නත් ඇතිනෙ.

එහෙනම් දැන් අපි බලමු කෘතීම පාන වර්ග වල කියෙන අහිතකර තත්ව ගැන.

පොදුවේ ගත්තාම පැණි බිම වර්ග නිපදවන්නෙ ජලය සහ සීනි මිශ්‍ර කරලා ඒවාට වායූ වර්ග, රසකාරක එහෙම එකතු කරලා.

මේ අතරින් ගොඩක් ප්‍රචලිත පාන වර්ගයක් වෙන කෝලා පාන වර්ග සඳහා ‘ කැෆේන් ’ නැමැති සංයෝගය යොදනවා. මේ සංයෝගය උත්තේජකාරකයක් කියලා ඔයාලා දන්නවත් ඇති.

පැණි බීම වර්ග වල සීනි සහ වතුර හැර වෙනත් කිසිදු ආකාරයේ විටමින්වර්ග, ඛණිජ ලවණ, ප්‍රෝටින් ආදීපෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙන්නේ නැහැ. බිම වර්ග කියන්නේ තනිකරම හිස් කැලරි ගොඩක් විතරයි.

නිරෝගී පුද්ගලයෙකුට අමතරව පිටින් ලබාගන්න පුළුවන් සීනි ප්‍රමාණය තේ හැන්දෙන් නම් තේ හැඳි 06ක් ( 30 g ). ඒත් ඔයාලා බොන 500 ml ක බීම බෝතලයක සීනි හැඳි 30 – 40 ක් අඩංගුයි කියලා ඔයා දන්නවාද?


බීම වර්ග බොන එක පුරුද්දට කරන සමහර පිරිස් ඔයාලත්  දැකලා ඇති. එහෙම පුරුද්දට මේවා පානය කළාම ශරීරයේ ස්ථුලතාවය වැඩිවෙනවා කියලා විවිධ රටවල කරන ලද පර්යේෂණ වලින් සොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ශරීරයේ බර අධික වීමත් දියවැඩියා රෝගී තත්වයත් හේතුවෙන් හෘදයාබාධ වගේම ආසාදන වගේ අනතුරුදායක තත්ව ඇතිවීමටත් හැකියාවක් තියෙනවා.

පැණි බිම වර්ග වල ඇසිඩ් තත්වයක්ද තියෙනවා. බීම වර්ග වල පෙණ නගමින් බුබුළු දැමීමට හේතු වෙන්නේ ඒවට කාබන් ඩයොක්සයිඩ් වායුව ඇතුල් කරලා තියෙන නිසයි.

දත්වල තියෙන කැල්සියම් මේ පැණි බීම වල තියෙන ඇසිඩ් ස්වභාවය එක්ක එකතු වෙලා දත් දාරා යාම සහ දත් මුල් දියවීයාම ඉක්මන් කරනවා.

            බෝතල් කළ ස්වභාවික පළතුරු බීම වල වුනත් පලතුරු අඩංගු වෙන්නෙ ඉතා සුළු ප්‍රමාණයක් විතරයි. අනිත් සියල්ල අධික සීනි,වර්ණ සහ රසකාරක යෙදූ ජලයයි.මේ නිසා සීනි යොදලා නැති පලතුරු පාන තෝරාගන්න ඔයා සැළකිලිමත් වෙන්න.

දැන් ඔයාට වර්ණක සහ පැණිබීම වර්ග ගැන පොඩි හරි අවබෝධයක් එන්න ඇතිනෙ. ආපහු ඔයාට පිපාසයක් දැනුනාම ඔයා ගන්න තිරණය මේ ලිපිය හරියට කියවලා බැලුවානම් පොඩ්ඩක් හරි වෙනස් වේවි.

ඉතින් ඔයාට මේ අපේ ලිපිය වැදගත් වුනානම් ඔයාගෙ යාළුවොන්ට දැනගන්නත් එක්ක යාළුවො අතරත් මේ ලිපි Share කරන්න අමතක කරන්න එපා..

එහෙනම් තවත් ලිපියකින් අපි ආයෙමත් හම්බුවෙමු.  J J J J

No comments:

Post a Comment